Thursday, September 3, 2015

කඳුළු කතාවක් සොඳුරු කතාවක් බවට පත්කරගනිමු. A Foster Mother's story!

අගෝස්තු එකොලොස් වෙනිදා හවස් වෙනකොට මට ශෝභා පින්තුරයක් එවනවා. එහි තියෙන්නේ කානුවක දමාගිය ඇස්  නෑරපු  බලු පැටවුන් පස්දෙනෙක්.




ඒත්  මට පහුවෙනිදාට  යන්ට තිබුනා ඉතාමත් ආදරවන්ත පුතෙකුගේ විවාහ මංගල්ලෙකට . මම ශෝභාට කිව්වා මම 12 වෙනිදා එහි ගිහින් එනතුරු පශු වෛද්‍යවරයෙකුවෙත ඔවුන්ව යොමු කරන්ටය කියා.අලුත උපන් ගමන් මවගෙන් වෙන්කරපු පැටව්  ලොකු කරන එක සුළු පටු කර්තව්‍යක්  නොවෙයි. එයාලගේ පෙකැනිවැල්  හැලිලා තුවාල අමුඅමුවේ තිබුනේ. ඒ අයගේ අම්මා කොච්ච්චර දුකින් ඉන්න ඇතිද? නමුත් ඒ වෙනකොට එම පුවත ගෙනා දැරිවිම එයාලව බලාගන්න බාරගෙන තිබුණා. දෙන්නෙක් එයාගේ යාළුවො ගෙනියලා  තිබුනේ.නමුත් ඉන් එක්කෙනෙක් ආපසු ලැබිලා තිබුනා. අනිත් කෙනා එයාලම ලොකු කරනවා කියා වගකීමෙන් ගෙනියලා තිබුනා.

දහතුන්වෙනිදා උදේ සිනාරා බලු පැටවුන් අරන් මගට ආවා. මමත් මගක් දුරට ගිහින් එයාලව භාර ගත්තා. හතර දෙනාම කිරි බීල හිටියට අම්ම නැති කාන්සියට එකිනෙකාගේ බඩවත උරනවා. ගෙදර ගෙනත් සාත්තුව පටන්ගන්නකොටම දැනෙනවා එක්කෙනෙක් ටිකක් අප්‍රාණික ගතියකින්  ඉන්න බව. පසුදා ඔහු මිය යනවා. එදා දවස හරිම වෙහෙස කාරීයි. නමුත් යසස් ශෝභා හා මනොජාගේ පැමිණීමත් සමගම හිතේ තිබුණු බර නොසැහෙන්න සැහැල්ලු උනා. පණ අදිමින් හිටි පැටියා මනොජගේ උකුලේම මියගියා.අනිත් තුන්දෙනාට නිදන්ට උණුහුම් සෙල්ලම් බඩු පෙට්ටි කිරිබෝතල් සුප්පු හා විශේෂයෙන්ම වැදගත් වන බලු පැටවුන්ට විශේෂිත කිරි වර්ගය ඔවුන් ගෙනත් තිබුනා. ඔවුන්ගේ ජීවිත වලට  බලාපොරොත්තු  සහගත ආරම්භයක් ලබාදෙන්ට මේ අයට හැකි උනා.


මේ අය  උණුහුමෙන් තියන්න හරි වෙහෙසක් වුනා අපි. නිතරම ශෝභා ගෙනත් දුන්නු ටෙඩි බෙයාස් ලා Hair  dryer එකෙන් රත් කරලා ඒ අය  අතර තියලා ඒ අයව උණුහුම් කළා. එයාල නිදන රෙදි වලට යටින් උණුවතුර බෝතල් තියන්ට සිදු උණා. මේස්  කකුල් අන්දවලා තිබ්බේ.


මේ අයට අවශ්‍ය එළු කිරි ලබාදුන් අයට  ගොඩක් පිං දැන් එයාලට පණු බෙහෙත් දීල කෑම කන්ට පුරුදු කරලා තියෙන්නේ.





දැන් අමාරු හරිය ඉවරයි. නිදිමරන්ට පැය දෙකෙන් දෙකට තුනෙන්තුනට කවන්ට පොවන්ට උවමනා නැහැ. පැය හතරෙන් හතරට කිරි මිශ්‍ර ඝන ආහාර දෙනු ලබනවා.  මේ අයව   ආදරෙන් බලාගන්න අයියල අක්කල ඉන්න ගෙවල් තුනක් මම හොයනවා.

තවත් පින්තුර මෙතනින් බලන්න පුළුවන්