Thursday, September 3, 2015

කඳුළු කතාවක් සොඳුරු කතාවක් බවට පත්කරගනිමු. A Foster Mother's story!

අගෝස්තු එකොලොස් වෙනිදා හවස් වෙනකොට මට ශෝභා පින්තුරයක් එවනවා. එහි තියෙන්නේ කානුවක දමාගිය ඇස්  නෑරපු  බලු පැටවුන් පස්දෙනෙක්.




ඒත්  මට පහුවෙනිදාට  යන්ට තිබුනා ඉතාමත් ආදරවන්ත පුතෙකුගේ විවාහ මංගල්ලෙකට . මම ශෝභාට කිව්වා මම 12 වෙනිදා එහි ගිහින් එනතුරු පශු වෛද්‍යවරයෙකුවෙත ඔවුන්ව යොමු කරන්ටය කියා.අලුත උපන් ගමන් මවගෙන් වෙන්කරපු පැටව්  ලොකු කරන එක සුළු පටු කර්තව්‍යක්  නොවෙයි. එයාලගේ පෙකැනිවැල්  හැලිලා තුවාල අමුඅමුවේ තිබුනේ. ඒ අයගේ අම්මා කොච්ච්චර දුකින් ඉන්න ඇතිද? නමුත් ඒ වෙනකොට එම පුවත ගෙනා දැරිවිම එයාලව බලාගන්න බාරගෙන තිබුණා. දෙන්නෙක් එයාගේ යාළුවො ගෙනියලා  තිබුනේ.නමුත් ඉන් එක්කෙනෙක් ආපසු ලැබිලා තිබුනා. අනිත් කෙනා එයාලම ලොකු කරනවා කියා වගකීමෙන් ගෙනියලා තිබුනා.

දහතුන්වෙනිදා උදේ සිනාරා බලු පැටවුන් අරන් මගට ආවා. මමත් මගක් දුරට ගිහින් එයාලව භාර ගත්තා. හතර දෙනාම කිරි බීල හිටියට අම්ම නැති කාන්සියට එකිනෙකාගේ බඩවත උරනවා. ගෙදර ගෙනත් සාත්තුව පටන්ගන්නකොටම දැනෙනවා එක්කෙනෙක් ටිකක් අප්‍රාණික ගතියකින්  ඉන්න බව. පසුදා ඔහු මිය යනවා. එදා දවස හරිම වෙහෙස කාරීයි. නමුත් යසස් ශෝභා හා මනොජාගේ පැමිණීමත් සමගම හිතේ තිබුණු බර නොසැහෙන්න සැහැල්ලු උනා. පණ අදිමින් හිටි පැටියා මනොජගේ උකුලේම මියගියා.අනිත් තුන්දෙනාට නිදන්ට උණුහුම් සෙල්ලම් බඩු පෙට්ටි කිරිබෝතල් සුප්පු හා විශේෂයෙන්ම වැදගත් වන බලු පැටවුන්ට විශේෂිත කිරි වර්ගය ඔවුන් ගෙනත් තිබුනා. ඔවුන්ගේ ජීවිත වලට  බලාපොරොත්තු  සහගත ආරම්භයක් ලබාදෙන්ට මේ අයට හැකි උනා.


මේ අය  උණුහුමෙන් තියන්න හරි වෙහෙසක් වුනා අපි. නිතරම ශෝභා ගෙනත් දුන්නු ටෙඩි බෙයාස් ලා Hair  dryer එකෙන් රත් කරලා ඒ අය  අතර තියලා ඒ අයව උණුහුම් කළා. එයාල නිදන රෙදි වලට යටින් උණුවතුර බෝතල් තියන්ට සිදු උණා. මේස්  කකුල් අන්දවලා තිබ්බේ.


මේ අයට අවශ්‍ය එළු කිරි ලබාදුන් අයට  ගොඩක් පිං දැන් එයාලට පණු බෙහෙත් දීල කෑම කන්ට පුරුදු කරලා තියෙන්නේ.





දැන් අමාරු හරිය ඉවරයි. නිදිමරන්ට පැය දෙකෙන් දෙකට තුනෙන්තුනට කවන්ට පොවන්ට උවමනා නැහැ. පැය හතරෙන් හතරට කිරි මිශ්‍ර ඝන ආහාර දෙනු ලබනවා.  මේ අයව   ආදරෙන් බලාගන්න අයියල අක්කල ඉන්න ගෙවල් තුනක් මම හොයනවා.

තවත් පින්තුර මෙතනින් බලන්න පුළුවන් 

Tuesday, March 10, 2015

අපේ හාප(ර්)

Sunday, October 5, 2014

අපේ රෝසි ගෙදර ගියා




රෝසි ගැන මුලින්ම අපට කිව්වේ තරංග.  මාලබේ ස්ලිට් ආයතනයේ වාහන අංගනයක උපන් පැටවුන්ගෙන් කෙනෙක් ඇය. මාස එකහමාරක් යනකොට අම්මට රෝසිගැන උනන්දුව අඩු උනේ රෝසිගේ සහෝදරයින්ව එක එක්කෙනා ගෙනිච්ච හින්දද කියල හිතාගන්න බැහැ. කාගේත් ආදරය ලබමින් රෝසි හොඳින් පෝෂණය වී සිටියා.






ඇය මට ලැබෙන්නේ සැප්තැමබර් 20 වෙනිදා එදාම තමා මගේ මිනිපිරියක් වෙන පුංච් අශානා මට මුනගහෙන්නෙත්. අශානා ඇයට රෝසි කියා නම් තබනවා.


රෝසි කිලිටි පාටට හිටියට හරිම නිරෝගී පැටියෙක්. පුළුවන් ඉක්මනට ඇය නහවා පිරිසිදුකර අවශ්‍ය එන්නත් ලබාදී අප යට නිවසක් හොයන්ට පටන් ගත්තා. කිහිප දෙනෙක්ම රෝසිව ඉල්ලුවත් අපට එපමණ දුරක්  එකවිට යවන්ට පුළුවන් කමක් තිබුනේ නැහැ. සමහර අවස්තාවලදී අපට ඉන්දියාවෙන් හා ඉතාලියෙන් පවා ඇමතුම් ලැබුනා.    නමුත් මොකක්දෝ හේතුවකට මේ කිසිදෙයක් කෙරුනේ නැහැ.










රෝසි වාහනවල  පුංචි දුරක් යනකොට වමනය කරන්ට පටන් ගන්නවා එය අපිට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ අතර නිරෝගී රෝසි ඉක්මනින් ලොකු මහත් වෙන්න පටන්ගත්තා. නිසි බර පිරුණු නිසා ඇය ව්‍යන්දීකරණය කරනු ලැබුවා. එයාගේ නළලේ කොටලා තිබුණු හැටියට එයාගේ ගෙදර අම්මා මා දිනක් අමතා ඇහුවා "රෝසි තාමත් ඉන්නවා නේද?" කියා එහෙ රෝසිට සෙල්ලම් කරන්න තව බල්ලෙක් ඉන්නවා. එයාගේ නම Dalfor. එයත් වීදි බලුපැටියෙක්. එයාවත් ලස්සනට හදල තියෙනවා එයාලා.

මොනවා උනත් රෝසි ඉන්නකොට ගේ පිරිලා. රෝසි කියන්නේ දඟ මල්ලක්. ඊයේ හවස් ජාමේ අපි රෝසිව රෝසිගේ ගෙදරට ඇරලුවා. එයාගේ පොතයි, සෙල්ලම් බඩුයි, කෑම මල්ලයි, නෝටි වැඩ කරනකොට තරවටු කරන කඩදාසි කෝටුවයි එක්ක. ඒ ගෙදර රෝසිවගේ පොඩිත්තියකට කියාපු තැන. ලස්සන තණකොළ පිරුණු මිදුල, බල්ලන් කුඩු කරන්නේ නැති අම්මල තාත්තලා. තනියට බලු අයියෙක්. ආදරෙන් කෑම හදල දීල රෝසිව වඩාගෙන ඉන්න ආස අම්මෙක්. ආයෙත් මම දුක නැතිව පැටික්කියෙක්ව දාල ආවා.

Friday, July 11, 2014

බලු අම්මලයි මිනිස් අම්මලයි අපියි!!!



ආයෙත් බලු පැටව් රොත්ත පිටිං පාරට ගෙනත් දාල ...........එක තැනක නෙමෙයි දෙයියනේ. කොළඹ තැං තැං වල. අපි  කොච්චර කට්ටිය ගෙදර පිරිල ඉතිරිලා  හිටියත් අහක බලාගන්නෙ නැහැ. කොහොම හරි Foster අම්ම කෙනෙක් ගාව කට්ටියට ඉඩක් හදල රැකවරණ ලබාදෙනව. ඒ අතර ඒ අම්ම ආපු පුංචි ඈයොංගෙ එන්නත් ලබාදීල පණු අමාරුවලට බහෙත් දීල තියන ලෙඩ සනීප කරලලස්සන පැටව් හැටියට ලොකුවෙන්ට ඕනැ කරන කිරි ආහාරපාන ලබාදෙනව. Foster අම්මලටත් සමහර වෙලාවට කළමනා හිඟවෙනවා. එහෙම වෙච්චි කාලයක් මේ. ඇත්තෙන්ම බලු පැටවා වදාපු අම්ම ගාවට බලුපැටවට එයාගෙ පුංචිකාලෙ එයාට ළංවෙන අනිත් කෙනා තමා මේ Foster අම්මා.



මේ ඉන්නෙ මනෝජා..............අපිට ඉන්න සෑහෙන පැට්ව් ගානක් ලොකු කරපු Foster අම්ම කෙනෙක්.

වාසනාවකට අපිට තව  Foster අම්මලා කීපදෙනෙක් අත හිත දෙනවා. කට්ටියට කිරි අවශ්‍යයි. අපට උදව්වෙන්න එයාලගෙ බඩගින්න නිවන්න.



මෙන්නෙ පෙරේදා රෑ පාරෙ දාල ගිහිං තිබිල අපිට හමු උන කට්ටිය.




අපි මෙහෙම ලොකු කරපු ඈයො ඉරිදට ගෙවල් වල සුරතලේවෙන්ට එන්නට බලාන ඉන්නවා. එයාලට ගෙවල් ලැබුනොත්, පාරෙ ඉන්න අයට Foster අම්මලා ගාව ඉඩ තියේවි. එයාල පාරෙ තනියම ඉන්නෙ බඩගින්නෙ, කොයි වෙලාවෙ වාහන වල හැපෙයිද දන්නැහැ, සමහර තැන්වල කබරයින්ගෙ වේලක් වෙන්නෙත් බලු පැටියෙක් තමා. අනේ එදාට බලු පැටියෙක් හදාගන්ට අරං යන්ට.

Friday, June 27, 2014

අල්වි ගෙදර යනවා.........




සමහරු මෙයාට ට්‍රයිපෝඩ් කියලත් නමක් දාල තිබුන. නමුත් මම ආස එයාට අල්වි කියල කතා කරන්නයි. එයාගෙ කතාව හරි වේදනා කාරීයි. කතාකරන පිංතූර අදත් ඔයාලට එයාගෙ වේදනාව ගැන කියාවි. ඒවා ඔක්කොම අතීතෙට එකතු වෙනවා......... අල්වි ගෙදර යනවා. ...........ඒ උනත් එයාගෙ කතාව ලෝකෙට කියන්ට මට උවමනා කාරණා දෙකක් හන්දා......... එකක් තමා සතෙකුට අමාරුවකදි සරණ වීමේ වැදගත් කම ගැන කියන එක, අනෙක මගෙත් තුන් පාද වීරයෙක් ගෙදර ඉන්න එක. 

 මේ කතාවෙ වීරයෝ ගොඩයි.  චඩිනි හා සුචින්ත තමා පළමුවෙන්ම තුවාල ලබලා අමාරුවෙන් හිටපු අල්විව දැකල තිබුනෙ දවල් කෑම වෙලාවෙදි. ඇය නවත්වලා තිබුනු වාහනයක් යටට වෙලා වේදනාවෙන් සිටියා. දින කිහිපයකට කලින් සිදුවෙච්ච අන්තුරකිං පස්සෙ අල්වි හමත් එක්ක  එල්ලෙන අත් කෑල්ලක් එක්ක අමාරුවෙං එතැනට කොහොම රිංගුවාද මංදා අතෙං කොටසක්ම ගැලවිලා ගිහිං එයා ඉතුරු උන කොටස බේරගෙන ඇවිත්........ඇය ගාව තිබුනෙ නරක් වෙච්ච මස්වල ගඳ. 


ශිනුකා ඇය මොහොතකට අස් වැසුවෙ යෝගට් එකක් කන්න දීල. ඉන් පස්සෙ ඇයව වෛද්‍ය වරු වෙත යොමු කෙරුනා. ශල්‍යකර්ම හා නොයෙක් වෛද්‍ය වාර්තා වලින් ඇයගේ සරීර සෞඛ‍ය් යහපත් බව දැනගන්ට ලැබුනා. තවත් වීරයෝ කොටසක් බරපැන දැරුවා. ඒ විස්තර මෙතනින් බලන්න

මේ කටයුතු සියල්ල සිදුවෙන අතරේ මුහුදු හතකිං එහා හිටපු සුන්දර හදවතක් ඇති කෙනෙක් අප අමතා ඇය එනතෙක් අල්විව රැක බලාගන්න කිව්වා. ඇයත් එක්ක තමා අල්වි ගෙදර යන්නෙ. ඇය නිරන්තරයෙන් අල්වි ගැන සොයා බැලුවා. අල්විට දුර ඉඳලා ආදරය කෙරුවා. අල්වි ඔබ වාසනාවන්තයි. 

-------------------------------------------------------------------------------

මේ ඉන්නෙ මගෙ ඇල්ෆ්. දඟ මල්ලක්. ආදර ගඟුලක්. කකුල් හතරක්ම ඕනෙ නැහැ බල්ලෙකුට කියල එයා ඔප්පු කරල ඉවරයි. මගෙ අසල්වැසියො කියන්නෙ. "කොහොමට හිටීද කකුල් හතරම හොඳට තිබුන නං" කියල. එච්චරට දඟයි එයා..............මගේ ලෝකෙ තවත් ලස්සන කලේ ඇල්ෆ්. අල්විත් ඒ දේම කරයි මුහුදු හතෙං එහා ඉඳල ආපු එයාගෙ Tali ට.


Tuesday, June 24, 2014

අපිටත් ගෙදර යන්න ඕනැ





 ලුවිස් 









 සුජාතා එක්ක පුරා මාසයක් හිටියා. ලෙඩ හොඳ උනා. ලස්සනට ලොම් වැවුනා. කෑම බෙහෙත් හොඳට වැටුනා.දැං හොඳ කරුණාවන්ත උදවිය ඉන්නවනං එන්න අපිව එක්ක යන්න. චූටි නංගිලා ගෙදර ගියා. අපිටත් ගෙදර යන්න ඕනැ අමතන්න සුජාතා 077 250 8457.

Friday, June 13, 2014

සල්ගාදු නෝනගෙ කට්ටිය

මැයි විසිවෙනිදා හරියට දොලහ වෙනකොට අපේ සල්ගාදු නෝනා බලුපැටව් ටික බෙස්ට් කෙයාර් වෙත ගෙනත් තිබුනා. හැමෝටම නොඅඩුව මැක්කොත් තැන තැන පුල්ලි ගසමින් මතුවෙන රෝගයත් පැතිරෙන ලක්ෂණ පෙන්වමින් තිබුන නිසා, එක්කෙනෙක්ව සම පරීක්ෂාවකට සූරාගනු ලැබුවා. සල්ගාදු නෝනා මා එහියන විටත් මූලික එන්නත් ලබාදී තිබුනා. දැනට අවශ්‍ය කරන ශැම්පු පමණක් ලබාගෙන කට්ටිය එක්ක මම ගෙදර ආවා. ගෙදර ඇති විටමින් බී එක්ක කිරි දෙන්නට තීරණය කලා. සල්ගාදුනෝනා අරං දුන්න කිරි පැකට් එකට පිං. ඒ වගෙම තව කිරි අප්ප කෙනෙකුයි, කිරි අම්ම කෙනෙකුයි කිරි පැකට් පහ බැගිං එවල තිබුන. තව අය බෙහෙත් විටමින් යනාදිය අරන් දුන්නා. සමහරු මුදලින් ආධාර එවලා තිබුනා. ඒ හැමෝටම පිං. 

දැං කට්ටිය ටිකක් ලොකුයි. දාහත්වෙනිදට ඩීඑච් එල් එන්නත දුන්නට පස්සෙ ඔක්කොම හර්. මුලිං පණු බෙහෙත් දීපු දවසෙ නං හරිම යුද්දයක් තිබුනෙ










දැං මේකට්ටියට ගෙවල් හොයාදෙන එක තමා ඉතිරි වෙලා තියෙන්නෙ!!!