Friday, July 29, 2016

දුනියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

මේ කනගාටුදායක සිදුවීම ලංකාවේ වෙච්ච දෙයක් නං  නොවෙයි.

 එක සිද්ද උනේ  දුනියාවේ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඇයි කිව්වොත් ලංකාවේ මිනිස්සු හරි හොඳ  නිසා. දුනියාවේ  අතරින් පතරේ සිරාවටම හොඳ මිනිස්සු කීපදෙනෙකුත් ඉන්නවා. ඒත් ඒ හැම කෙනෙක්ම නරක එකාට යටයි. මේ යුගයේ නරකම දේ නරක මිනිස්සු ඉස්සරහදී හොඳ මිනිස්සු කට වහං  ඉන්න එක තමයි. දැක්කේ නැහැ වගේ අහක බලාන යනවා මොන විපතක්  වෙලා තිබුනත්.

දුනියාවේ ඉන්නවා එක අක්ක කෙනෙක්. ඒ අක්කගේ වැඩේ පාරේ අසරණ වෙලා ඉන්න බලු පැටවුන්ට සරණ යාමයි. දවසක් මේ අක්ක ගමනක් යනකොට දැක්කලු ගෝනි මල්ලක් පාර අයිනේ දඟල දඟල ඉන්නවා. දුනියාවනේ ඉතිං............... . ලංකාවේ වගේ නෙවෙයි ගෝනි මලුත් නටනවලු. ඒ වුනත් ඒ අක්කා  මල්ල ඔබල බලන්නේ නැතිව ඇරලම බලලා. හත් දෙයියනේ ඇතුලේ ඉඳල තියෙන්නේ ඇල්සේසන් බල්ලෙක්. අර GSD කියන්නේ. අන්න ඒ ජාතියේ එකෙක්. නමුත් කට Cable Tie එකකින් කිටිකිටියේ බැඳලා දාලා. ඇඟේ  තුවාලයකුත් එක්ක. ඉතින් අර අක්කා  බල්ලා  එක්ක සෙල්ෆි ගහන්නැතිව ඉක්මනටම බල්ලාගේ කට බැඳලා තිබුණු  Cable Tie එක ගලවලා වෙට්  දොස්තර මහත්තය ගාවට ගෙනියල තිබුනා.


Caitlyn the dog
අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද චායාරුපයකි



දිග කතාව කොටින් කිව්වොත් ඒ බල්ලාව  මාසයක් විතර වෙට් මහත්තය ගාව තියල ප්‍රතිකාර කලත් ඒ වෙනකොට බල්ලා ඉතාම දුර්වල තත්වයක හිටියේ. හරිහමන් විදියට කෑම බීම නොලැබීමත් තුවාලවලට අවශ්‍ය වෙලාවේ ප්‍රතිකාර නොලැබීමත් නිසා එයා දුර්වල වෙලා හිටියේ. අර අක්කලා මොන උත්සාහය කලත් බල්ලා  ගොඩ ගියේ නැහැ. අර කියන උසස් වර්ගෙට උපන් බල්ලා පුදුමාකාර දුකක් විඳවලා, විඳවලා මැරුණා  දුනියාවේ මිනිස්සුන්ගේ තරම තමා ඒ.



ඒ මිනිස්සු දන්නේ නැති දේ තමා GSD  බල්ලෝ ගෙදර හිටියම තමන් හරි ලොක්කෝ වගේ අනිත් අයට පෙනෙනවා කියල හිතුවට ඇත්තටම එහෙම එකක් නැති බව. තමන්ගේ හොඳකම ලෝකෙට පෙනෙන්නේ තමන් අර ගෙදරට ගේන  සතාට සලකන ආදරය කරන විදියට මිසක් වෙන මොනම දෙයකින්වත් නොවන බව උං  දන්නේ නැහැ .



දුනියාවේ අලුත්ම රැල්ල මේක තමා. වියදං  දරන්ඩ  බැරි උනත් බැරි මරගාතේ නමගිය ජාතියක බල්ලෙක් කොහෙන් හරි හොයාගන්න එක. මිනිසත් බව ලබා ඉපිද  මිනිසත් බවට නොබිණා අයුරින් කටයුතු කිරීම දුනියාවේ බහුතරයකගේ ලක්ෂණයක්. එත් සත්තු ලෙඩ උනාම පාරට දාන එකනං  මහා පව්කාර වැඩක් හොඳේ. කළකම් පලදෙන දවස වැඩි දුර නැහැ දුනියාවේ වැසියනේ

මෙහෙම වංසක්කාර  බලු නාම්බෝ නාම්බියෝ නකුටු ගැහිලා ලෙඩවලා අතෑරලා දාල   පාරේ ඉන්නකොට අර වගේ අක්කලා කොහොම හරි වෙදකම් කරලා හොඳ කරුණාවන්ත මිනිස්සු ඉන්න ගෙවල් හොයලා දෙනවා.

ලංකාවේ නම් මෙහෙම වෙන්නේ නැහැ.
------------------------------------------------------------------------------------------------------------

  ලංකාවේ  බල්ලන් බළලුන් වැනි සතුන් කෙරෙහි දක්‌වන ආදරය හා හිතවත්කම මහ පුදුම එකකැයි කිවයුතුය. හැම නිවසක ම පාහේ හුරතලයට තනි නොතනියට ඇති කරන බල්ලා හෝ බළලා සිය පවුලේ ම කෙනකු හැටියට සැළකීමට තරම් ඔවුහු කාරුණික වෙති.

මෙසේ සිය පවුලේ සාමාජිකත්වයට පත් කරගනු ලැබූ බල්ලා හෝ බළලා හෝ එතැන් සිට එම පවුලේ සියලු අයිතිවාසිකම් වලට හිමි කාරයෙක්‌ ද වේ. ඒ නිසා සිය දූ පුතුන්ට මෙන් ආදරය කරුණාව දැක්‌වීම දුක සැප සොයා බැලීම ආදී සියලු දේ නො අඩුව ඉටුකිරීම භාර කරුවන්ගේ වගකීම වේ. ඔවුන් බල්ලාට කථා කරන්නේ තම දුවට හෝ පුතාට හෝ අමතන තරම් බලවත් සෙනෙහසකින් යුතුව ය. එපමණක්‌ නොව, නියමිත දින නියපොතු කැපීම  නෑවීම නියමිත වෙලාවට ආහාරදීම ලෙඩ වූ විට වෛද්‍යවරයා වෙතට කැඳවා ගෙන යාම ආදී සියලු සැප පහසු හා අවශ්‍යතා සැලසීමට භාරකාරයා  බැඳී සිටින්නේ ය.   . ඉඳුල් කෑම ඉවතලන ආහාර මස්‌කටු ආදිය   ලංකාවේ  බල්ලන්ට දීමේ සිරිත කොහොමවත් නැති බව කිව යුතුය.

එසේ ම   ලංකාවේ සිටින බල්ලන් හා බළලුන් තුළ පවතින ගති ගුණ ද ඉතා යහපත් බව කිව හැකිය. විශ්වාසවන්තකම කීකරුකම ස්‌වාමි භක්‌තිය ආදී ගුණාංග තුළින් මේ රටවල බල්ලන් පවා දක්‌වන්නේ හොඳ ආදර්ශයකැයි මම සිතමි. ඇතැම්විට අන්තිම කැමැති පත්‍රයෙන් සිය බූදලය බල්ලා නමට ලියා තබා මිය යන දෙමහල්ලන් ගැන අසන්නට ලැබෙන අවස්‌ථා ද නැත්තේ ම නො වේ. මෙය බල්ලන් තුළ පවතින ගුණ යහපත්කම්  ලංකාවේ  සමහර දෙනා අගය කරන අන්දම තේරුම් ගැනීමට හොඳ සාක්‌ෂ්‍යකැයි අදහස්‌ කරමි.

  ලංකාවේ රූපවාහිනියෙන් ඉදිරිපත් කල  Lassie නමැති බල්ලා පිළිබඳ තොරතුරු සැබවින් ම ආදර්ශවත්ය. Lassie උසස්‌ මිනිස්‌ ගති ස්‌වකීය චරිතයෙන් හා ක්‍රියාකාරකම් තුළින් විදහා දක්‌වන ලැසී තිරිසන් ස්‌වරූපයෙන් පෙනී සිටින මනුෂ්‍යයෙකි යි කිව යුතුය.

එපමණක්‌ නොව ලංකාවේ  සමහර දෙනා තිරිසන් සතුන් කෙරෙහි දක්‌වන ආදරය කරුණාව හා හිතවත් භාවය බෙහෙවින් අගය කළ හැකිය. සමහරු විසින්  තම නිවසේ ඉතා ආදරයෙන් ඇති දැඩි කළ වසර ගණනක්  තම පවුලේ කෙනකු ලෙස එකට ජීවත් වූ සතෙකු  මිය යාම නිසා ඒ සතාට පින්දීමට දානමය   පින්කමක් සිදුකරන අවස්ථා පවා අප දැක ඇත ..............

ලංකාවේ මිනිස්සු එහෙමයි.

Monday, May 30, 2016

සුරතල් සතුන් හා ගංවතුර - සුදානම් වන්න............

ගංවතුර දැන් ටිකටික  බැහැගෙන යමින් පවතී.. එය   සතුටට කරුණකි. පසුගිය කාලයේ සිදුවුණු සිදුවීම් බොහෝ සිත් රිදවන සුළු ඒවාය. එයින් බොහොමයක් සිදුවීම් වලක්වා ගන්නට හැකියාවක් තිබු ඒවා යැයි  අප හට සිතෙන බව කිව යුතුය. නොයෙක විධ සත්ව සංවිධානයන්ට අයත් සාමාජිකයින් බොහෝ කැපවීමෙන් මේ කාලය තුල ජීවිත ගණනාවක් බේරා  ගැනීම පිණිස කාලය වැය කලේ දිවා රෑ  බලන්නේ නැතිවයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන ලද  අලුත් ම වාර්තාවට අනුව කැළණි ගගේ ජල මට්ටම සම්පූර්ණයෙන් ම වගේ සාමාන්‍ය තත්ත්වයට ළඟාවෙමින් තිබේ.. එහෙත් බොහෝ  පැතිවල ගංවතුර සම්පූර්ණයෙන් බැස  යන්න තව දවස් කීපයක්  ගත වේ  යැයි  පැවසේ .

වතුර බැස  ගියත් ඒ පැතිවල ජීවිත යථා තත්ත්වය පත්වෙන්න තව සති ගාණක කාලයක් ගතවේවි.

ඔබ ඔබේ ප්රදේශයේ ගංවතුර වැනි  බිහිසුනු අවස්ථාවකට  මුහුණ දෙන විට, ඔබ නොපතන දෙය වන්නේ ජීවිත හානි සිදු වීමයි. ඒ ඔබගේ සුරතලාගේ ජීවිතය විය හැකියි.

ඔබේ පවුලේ අය හා දේපල මෙන්ම, ජල ගැලීම් කාලය තුල  ඔබේ සතුන් ආරක්ෂා කිරීම සඳහා හොඳම ක්රමය නම් මුලින්ම සැලසුම් සකසා තැබීමයි

ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය සඳහා ඔබේ සතුන් හැකිතරම් වියලි බිම් (නෑදෑ හිතවතුන්) වෙත වේලාසන රැගෙන යන්න.


සුරතල් සතුන් හා ගංවතුර - සුදානම් වන්න........................

ඔබගේ සුරතලා හදුනා ගැනීම පිණිස යමක් පළඳන්න. සබඳතා තොරතුරු (microchip and an identity tag, with up to date contact details, on their collar)

ඔවුන්ට ආහාර සහ අවශ්‍ය බෙහෙත් වර්ග රැස්  කර තබන්න.

සැමවිටම ඔබ ගෙදර නැතිවිට යම් හානිකාරී තත්වයක් ඇතිවන්නේ නම් ඔබගේ අසල්වැසියාට මැදිහත් වන ලෙස පවසා තබන්නට ඔබට හැකියි. ඔහු/ඇය  සුරතලාගේ දිවි ගලවාවී.

හදිසි පිටවීම් දොරටු සැම  විටම අවහිර නොකර තබන්න

අවධානයෙන් සිටින්න තොරතුරු දන සිටීම ඉතා වැදගත් කරුණක්. දේශීය රූපවාහිනී සහ ගුවන් විදුලි අනතුරු ඇඟවීම් වලට සවන් දීම හෝ දවසේ පැය 24 ඔබේ ප්රදේශයේ පිළිබඳ තොරතුරු සඳහා SMS සේවාවකට සම්බන්ධ වන්න.



සුරතල් සතුන් හා ගංවතුර - ගංවතුර අනතුරු ඇඟවීමක් තුළ කල යුතු දෑ ...........

 සියලු සතුන් නිවාස තුලට ගෙන, උඩු මහලක් ඇතිනම් ඔවුන් උඩට අරගෙන යන්න

ආරක්ෂිත  වියළි  ආහාර, ඇඳ ඇතිරිලි සහ නැවුම් ජලය උඩු මහලට  ගෙන යන්න.

ප්‍රවාහන කටයුතු වලට භාවිත කරන කුඩු (carrier) ලැහැස්ති කර තබන්න

 හුරු පුරුදු සෙල්ලම් බඩු තබා ගන්න.

අවදානම පහ වන තුරු ගංවතුර අවදානම් ප්රදේශයන්  පිටත ජීවත් වන පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු වෙත සතුන් රැගෙන යාමට කටයුතු කරන්න

මුද්‍රා තැබූ මල්ලක සුරතලාගේ එන්නත් පොත හා චායා  රුපයක් තබාගන්න. යම් හෙයකින් සුරතලා නැති වුව හොත් ඔබට මෙය උදව්වක් වේවි.

මතක තබාගන්න මේ ගං  වතුරට වඩා  සැර  ගංවතුරක් ඊළඟ වතාවේ ඔබ වෙත පැමිණෙන්නට ඉඩ ඇති බව. ඒ නිසා සැලකිල්ලෙන් කටයුතු කරන්න.


අප හට යම් වැදගත් යමක් මග හැරී ඇති නම් කොමෙන්ටුවකින් එය ඉදිරිපත් කරන්න ස්තුතියි!!!